නානුඔය ඇල්ල | නුවර එලිය



සුන්දර නුවර එලියේ චාරිකා

නානුඔය ඇල්ල

සුන්දර නුවර එලියේ නිසොල්මනේ ගලා හැලෙන නානුඔය ඇල්ල අසල මෙවර "මාවතේ පියසටහන්" තබන්නෙමු. ඔබ දුම්රියෙන් නුවර එලියට ලඟා වන අයෙක් නම් නානුඔය දුම්රිය ස්ථානයේ සිට 1.5km පමණ දුරක් සුන්දර තේ වතු යායක් මැදින් ගමන් කර මෙම ස්ථානයට ලඟා විය හැක. ඔබ වාහනයක ගමන් ගන්නා අයෙක් නම්  නුවර එලියේ සිට 6km පමණ දුරක් ගෙවා නානුඔය ඇල්ල අසලටම ලගා විය හැක.



උඩරදැල්ල හා බඹරකැලේ ප්‍රදේශයෙන් ආරම්භ වී ඇද හැලෙන නානුඔය ඇල්ල ඒ අවට පස සරු කරමින්, සිසිල් කරමින් කොත්මලේ සහ මහවැලි ගංගා සමග එක් වෙයි. 60m ක් පමණ උසකින් යුත් නානුඔය ඇල්ල පඩිපෙලක ආකාරයෙන් රමණීයව ඇද හැලෙන්නේ ඉතා සුන්දර දර්ශනයක් මවමිනි. 



එතරම් උසකින් යුක්ත නොවුනත් ගල් කුලු පඩි පෙලක් ඔස්සේ දිය පහර ගලා බසින්නේ තේ වතු යායක් මැදින් ඔබගේ ඇස් මානයට තේ දලු නෙලන ලදුන්ගේ අලංකාර දසුනක් හසු කරවමිනි. දිය ඇල්ලට ඉහලින් තේ වතු යාය මැදි කරමින් වැටෙන දුම්රිය පාලමද නානුඔය ඇල්ලට තවත් රටාවක් එක් කරයි.  පාලම ඔස්සේ දිවෙන දුම්රියත් පහලින් ඇද හැලෙන සුන්දර නානුඔය ඇල්ලත් අවටින් දිස්වෙන තේ වතු යායත් එකවර කැමරා කාචයට හසු කර ගැනීම අපහසු වුවත් සැබැවින්ම එය කල නොහැක්කක් නොවේ. එසේ වී නම් එය ඉතා දුර්ලභ අගනා ඩිජිටල් සිතුවමක් වෙනු ඇත.
අනෙකුත් දිය ඇලි සමඟ සැසදීමේදී නානුඔය දිය ඇල්ල අප අතර එතරම් ප්‍රසිද්ධ නොවුනත් සැබැවින්ම මෙය ඉතා සුන්දර දිය නෑමට ද කදිම ස්ථානයකි. 
ඔබ සුන්දර ඡායාරූප එකතු කරන්නෙක්ද? සැඟවුනු සුන්දර ස්ථාන සොයා යන්නෙක්ද? පරිසරයේ සුන්දරත්වය නිහඩව විදින්නෙක්ද? එසේනම් සුන්දර නුවර එලියේ ඇවිද යන අතරතුර නානුඔය ඇල්ලේ පියසටහන් තබන්නටද අමතක නොකරන්න.

Comments