වික්ටෝරියා උද්‍යානය | නුවර එලිය



සුන්දර නුවර එලියේ චාරිකා

වික්ටෝරියා උද්‍යානය | නුවර එලිය

මෙවර මාවතේ පියසටහන් ඔස්සේ අපි ඔබව වික්ටෝරියා උද්‍යානය වෙත රැගෙන යන්නෙමු. නුවර එලිය නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම වික්ටෝරියා උද්‍යානය 1897 දී වික්ටෝරියා රැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් එතුමියගේ නමින් නම් කර ඇත. මේ වන විට විවිධ රටා හැඩතල මවන ගස් වැල් වලින් ඉතිරී ගියද මීට වසර ගණනාවකට පෙර ඕක් ගසකින් ආරම්භය සනිටුහන් කල මෙම උද්‍යානය එකල හක්ගල උද්භිත උද්‍යානයේ පර්යේෂණ ක්ෂේත්‍රය ලෙසින් භාවිතා කර ඇත.



අක්කර 27 ක් පුරා සුන්දරත්වය මවන වික්ටෝරියා උද්‍යානය හරහා පුංචි දිය පාරවල් සාදමින් නානුඔය ගඟ ගලා බසි. 
විවිධ කුරුලු විශේෂ බොහොමයක නිවහන වූ මෙය ඉහල විද්‍යාත්මක වටිනාකමින් යුත් ශාක රැසකින් ද පිරී පවතී. විවිධ කුරුලූ විශේෂ 100 කට වැඩි ප්‍රමාණයක් විවිධ ශාක විශේෂ 180 කට වැඩි ප්‍රමාණයක් වික්ටෝරියා උද්‍යානයට අයිතිවාසිකම් කියයි. විවිධ හැඩතල අනුව අලංකාරව සකසන ලද බොහෝ ශාක විශේෂ වික්ටෝරියා උද්‍යානයේ අනන්‍යතාව ලෙස සැලකිය හැක.



පවුලේ සෑම දෙනා සමඟ එක්ව නිදහසේ කාලය ගත කිරීමටත් , සවස් වරුවක නිස්කලංකව ඇවිද යාමටත්, කුඩා දරුවන්ට විනෝද වීමටත්, ස්වභාව සෞන්දර්යය සමඟ සිසිල් සුලඟක පහස විඳීමටත් වික්ටෝරියා උද්‍යානය හැර වෙනත් ස්ථානයක් නම් නුවරඑළියේ නොමැති තරම්ය.



ඔබ සුන්දර ඡායාරූප එකතු කරන්නෙක් නම් වික්ටෝරියා උද්‍යානය ඔබට සුන්දර ඡායාරෑප ගොන්නක් ද ලබා දෙනු ඇත. නුවර එලිය වසන්ත සමයේ එනම් අප්‍රේල් මාසය මුලුල්ලේම සංචාරක ආකර්ෂණය ඉතා ඉහලින් රදවා සිටින වික්ටෝරියා උද්‍යානය  ඔබ සුන්දර නුවර එලි සංචාරයේ අමතක නොකරම නැරඹිය යුතුම ස්ථාන අතරින් එකකි.





Comments

Popular Posts