අඹේවෙල කිරි ගොවිපල | නුවර එලිය



සුන්දර නුවර එලියේ චාරිකා

කිරි ගොවිපල | අඹේවෙල

සුන්දර නුවර එලියේ අප කවුරුත් අසා ඇති අඹේවෙල කිරි ගොවිපල මැදින් මෙවර "මාවතේ පියසටහන්" තබන්නෙමු.

නිල් තණ තීරයකින් වැසුනු කඳු ගැට හරහා වැටුනු අඹේවෙල ගොවිපල හරහා දිවෙන මාර්ගය මෙරට සුන්දරම මාවත් අතර ඉහලින්ම රැදී සිටිනු ඇත. අක්කර 1500ක භූමි භාගයකම පිරි ඉතිරී ගිය තණ තිල්ල, අතරින් පතර එක යායට වැවුනු ගස් පෝලිම, ඒ අතර එහෙ මෙහෙ ඇවිදින කිරි එලදෙනුන්, සෙලෝලයිඩ් රූප ලෝකයක් තරමටම පුදුමාකාර තරම් ලස්සනය.



නුවර එලිය නගරයෙන් 19km ක් පමණ දුරින් පිහිටා ඇති මේ පුංචි නවසීලන්තය උදෑසන 8.30 සිට ඕනෑම අයෙකුට විවෘතය. ඔබ දුම්රියෙන් ගමන් කිරීමට කැමති අයෙක් නම් නානුඔය දුම්රිය ස්ථානයේ සිට අඹේවෙල දක්වා ද, බසයක ගමන් කරන්නෙක් නම් නුවර එලිය-පට්ටිපොල බසයක අඹේවෙල දුම්රිය ස්ථානය දක්වාද ගමන් කල යුතුය. දුම්රිය ගමන මිනිත්තු 25 කින් පමණ හමාර වුවත් බසයේ නැගී පැයකට වැඩි කාලයක් පැමිණිය යුතුය. එතැන සිට 3km  පමණ දිගු දුරක් සුන්දර මාවතක් ඔස්සේ ගමන් කර ගොවිපල පිවිසුමට ලඟා විය හැක. ඔබ වාහනයක පැමිණෙන අයෙක් නම් අඹේවෙල පිවිසුම දක්වාම කිසිදු අපහසුවකින් තොරව පැමිණිය හැක. එසේ නොමැති නම් ලොව සුන්දරම මාවතක් ඔස්සේ 3km ක් පමණ සිසිල් සුලං මැද වෙහෙසකින් තොරවම ඇවිද යාමට ඔබට හැකි වනු ඇත.



කිරි ගවයින්, හාවුන්, එලුවන් වැනි ගොවිපල සතුන්ද යෝගට් , චීස් , නිෂ්පාදනාගාරද යාන්තික කිරි දෙවුම් මැදිරියකින්ද සමන්විත මෙම ගොවිපල සාම්පදානුකූල ක්‍රම භාවිතයෙන් තම නිෂ්පාදන නිපදවීමෙහිලා ඉදිරියෙන්ම සිටී. දහවල් 12 සිට 2 පමණ වන තෙක් ගොවිපල තුල රැදෙන ඔබට එම යාන්තික කිරි දෙවීමේ ක්‍රියාවලිය සියැසින්ම දැක ගත හැකි වනු ඇත. ගමනේ විඩාවක් නොදැනුනද නැවුම් කිරි වීදුරුවක් රස විදීමේ අවස්ථාවද ගොවිපලෙහි වූ කිරි හලෙන් ලැබෙනු ඇත.



අවට තෙරක් නොපෙනෙන හරිත මිටියාවත ඔබේ ඡායාරූප වල ජීවමානව දිස්වෙනු නොඅනුමානය. සුන්දර නුවර එලියට පැමිණෙන බොහෝ දෙනා අමතක නොකරම නරඹන තවත් එක් ස්ථානයක් බවට මේ වන විටත් අඹේවෙල මෙම කිරි ගොවිපල පත්වී අවසන්ය. විටින් විට කුඩා වැසි පොදකින්ද තවත් විටෙක එහා මෙහා නොපෙනෙන ගණ මීදුමකින්ද වැසී යන ගොවිපල ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් නැරඹිය යුතුම සුන්දරම ස්ථාන අතරින් එකකි.






Comments