නිදහස් චතුරස්‍ර පරිශ්‍රය | කොලඹ



කොලොම් පුරවරයේ චාරිකා

නිදහස් චතුරස්‍ර පරිශ්‍රය | කොලඹ

මෙවර මාවතේ පියසටහන් ඔස්සේ අප ඔබව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත රැගෙන යන්නෙමු. 

අහස උසට විහිදෙන කොන්ක්‍රීට් වනාන්තරයක් බඳු කොලොම් පුරවරයේ නිස්කලංක සුන්දර ස්ථාන අතරින් ඉහලින් ම රැදෙන ස්ථානයක් ලෙස මෙම නිදහස් චතුරස්‍ර පරිශ්‍රය හැදින්විය හැක. ඕනෑම තරාතිරමක අයෙකුට පහසුවෙන් සහ කිසිදු මුදල් ගෙවීමකින් තොරව රිසි සේ කාලය ගත කිරීමට ත් විනෝද වීමට ත් හැකියාව ලැබෙන පරිදි නිදහස් චතුරස්‍රය කේන්ද්‍ර කර ගනිමින් මෙම සුන්දර භූමි භාගය සකසා ඇත.





ශ්‍රි ලාංකික අනන්‍යතාව ආරක්ෂා වන පරිදි නිර්මාණශීලී තේමාවක් යටතේ ඉදිකර ඇති මෙහි වූ ගොඩනැගිලි ඉතා උසස් ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ මතු කරයි. මෙම සුන්දර භූමි භාගය කේන්ද්‍ර කර ගනිමින් කෞතුකාගාරයක්,  සාප්පු සංකීර්ණයක්, සිනමා ශාලාවක් , භෝජනාගාර, සහ තවත් බොහෝ පහසුකම් රැසක් සලසා ඇත. 

කොළඹ 7 හෙවත් කුරුදුවත්තෙහි පිහිටා ඇති මෙම නිස්කලංක පරිසරය වෙත ඉතා පහසුවෙන් ලගා විය හැකිය. ඔබ බස් රථයක පැමිණෙන අයෙක් නම් බෞද්ධාලෝක මාවත ඔස්සේ පැමිණ නිදහස් චතුරස්‍රය අසලින්ම බැස ගැනීමටත් පෞද්ගලික වාහනයක පැමිණෙන අයෙක් නම් පහසුවෙන්ම රථ වාහන ගාල් කිරීමට ත් පහසුකම් මෙහි ඇත.



සුවිසල් තණ තිල්ලක් සහ විවිධ වර්ණයේ මල් වලින් යුත් අලංකාර පාත්ති බොහොමයකින් පිරී ඉතිරී ගිය මෙම පරිශ්‍රය කොළඹ ජනතාවගේ සිත් වසඟ කර ගත් ස්ථාන අතරින් ඉහලින් ම රැඳී සිටී. විවාහ මංගල්‍යය ඡායාරූප , වෙනත් නිරූපණ ක්ෂේත්‍රයේ ඡායාරූප සඳහා ත් උපන්දින සාද, මිතුරු හමු සදහා ත් බොහෝ දෙනෙක් මෙම ස්ථානය තෝරා ගනියි.





දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක් වූ මෙම සුන්දර භූමි භාගය සවස් යාමයේ නිදහසේ කාලය ගතකිරීමට ත්, පවුලේ සියලු දෙනා සමඟ එක්ව විනෝද වීමට ත් , අලංකාර ඡායාරූප එකතුව ක් සාදා ගැනීමටත් , සාප්පු සවාරි යාමට ත්, විවේකීව සිනමා පටයක් නැරඹීමට ත්, කොළඹ වසාගත් දුහුවිල්ලෙන් සහ කලබලයෙන් මිදී සුන්දර පරිසරයක සිසිල විඳගැනීමටත් සුදුසුම ස්ථානයකි.

Comments