රූමස්සල වෙරල තීරය (Jungle Beach) | ගාල්ල



ගාලු පුරවරයේ චාරිකා

රූමස්සල වෙරල තීරය (Jungle Beach) | ගාල්ල

ගාලු පුරවරයේ "Jungle beach" නැතහොත් රූමස්සල වෙරළතීරය වෙත අප මෙවර මාවතේ පියසටහන් තබන්නෙමු.

ගාලු පුරවරය ශ්‍රී ලංකාව තුල සංචාරක ආකර්ෂණය ඉතා ඉහලින්ම හිමි කරගත් ප්‍රදේශයකි. මේ නිවාඩුවේ ඔබත් ගාල්ලට සේන්දු වීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබ අතපසු නොකරම නැරඹිය යුතු ස්ථානයකි මෙම වෙරළ තීරය. 

රූමස්සල කන්ද පාමුල වූ වෙරල තීරය නිසාවෙන් සහ මෙයට සේන්දු වීමට රූමස්සල කැලය ඔස්සේ ඔබට ගමන් කිරීමට සිදු වන නිසාවෙන් මෙම වෙරළ "jungle beach" නමින් හදුන්වයි. ගාල්ල නගරයේ සිට කිලෝමීටර 5ක්  පමණ මාතර දෙසට ගමන් කර රූමස්සල කන්ද පෙදෙසට ලගා විය හැක. කන්ද මුදුනේ සිට පහළට කැලය මැදින් බැසගොස් මෙම වෙරළට ලගා විය යුතුය. තරමක් වෙහෙසකර ගමනක් වුවද අවසානයේ දී ඉතා සුන්දර, නිල් කැටියට වතුර දිලිසෙන වෙරල තීරය ඔබේ වෙහෙස මොහොතකින් නිමා කරනු ඇත.





ඔබට අවශ්‍ය නම් විවිධ ආහාර පාන ද රැගෙන ගොස් නිදහසේ රසවිඳීමට මෙහි ඉඩ සලසා ඇත. නමුත් ඒ අවට පරිසරය අපවිත්‍ර නොකිරීමට ඔබ සැලකිලිමත් විය යුතුමය.



සාමාන්‍යයෙන් අවුරුද්ද මුලුල්ලේ ම මෙය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති පෙදෙසකි. අනෙක් වෙරළ තීරයන් හා සැසඳීමේදී මෙය ඉතා පිරිසිදු නීල වර්ණයෙන් යුත් සුන්දර වෙරළ තීරයක් නිසාවෙන් ම  නිදහසේ කාලය ගත කිරීමට ත් , දිය නෑම සදහා ත්, අලංකාර ඡායාරූප එකතුවක් සාදා ගැනීම සදහාත් උචිතම ස්ථානයකි. ඔබට අවශ්‍ය නම් මුදල් ගෙවා කොරල්පර නැරඹිමට අවස්ථාව ලබා දෙන බෝට්ටු සේවාවන් ද මෙහි ඇත. එසේ නොමැති නම් සිතැඟි පරිදි විනෝද වෙමින් කාලය ගත කිරීමට මෙම වෙරළ තීරය ඔබ සමඟ රැදෙනු ඇත.



ඉතින් ඔබත් මෙවර නිවාඩුව සුන්දර වෙරලක් සමීපයේ නිස්කලංකව ගත කිරීමට සැලසුම් කරනවා නම් ඒ සදහා සුදුසුම සුන්දර වෙරළකි මෙම රූමස්සල වෙරළ තීරය.

Comments